කැලණිය නායක හිමියන්ගේ පණිවිඩය

 1898 දී අනගාරික ධර්මපාලතුමා මුලසුනේ තබා පිහිටුවා ගත්, “තරුණ බෞද්ධ සමිති” ව්‍යාපාරයේ පුරෝගාමියා කැලණියේ වරාගොඩ පදිංචිව සිටි ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිතුමාය.

කැලණිය ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් 1958 දී පිහිටවූ කැලණි තරුණ බෞද්ධ සමිතියේ පුරෝගාමී වූයේ කැලණි ප්‍රදේශයේ එදා වැඩ සිටි අපේ නායක ස්වාමීන් වහන්සේලාය.

ඉහත කරුණු දෙක මෙහිදී ඉස්මතු කළේ මෙම සත්කාරයන්ගේ නිජබිම කැලණිය බව පෙන්වා දීමටයි. කිරිබත්ගොඩ, කැලණි තරුණ බෞද්ධ සමිතිය 2024 වන විට විවිධ අත්දැකීම් ලබමින් පරිණත වෙමින් හැට පස් වසරක් සම්පූර්ණ කිරීම සතුටුදායක කාරණයකි. පසුගිය සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සර්වරාත්‍රික ධර්මදේශනා පවත්වා පසුදින දන් පිරිනමා ආදි කතෘන් ඇතුළු පරලෝ සැපත් සියලුම සාමාජිකයන් හට පින් අනුමෝදන් කෙරිණි.

ගත වූ හැටපස් වසර තුළ උඩුපිල දෙල්ගොඩ, වෑබඩ, ඉඹුල්ගොඩ වැඩිහිටි නිවාස මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලා ගෙන ජීවත් කරවීම ඔවුන්ට සියලු පහසුකම් සැලසීම, ප්‍රදේශයේ දූදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, පොහොය දිනයන්හි සීල සමාදාන, ධර්ම දේශනා භාවනා වැනි ආගමික වැඩසටහන් නොකඩවා පවත්වාගෙන ඒම, සමාජයේ ආගමික, සදාචාරාත්මක, අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම, ප්‍රදේශ වාසීන් කියවීමට උනන්දු කරවමින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පුස්තකාලය ප්‍රවර්ධනය වැනි ශාසනික, ජාතික, ආගමික වැඩසටහන් විශාල වශයෙන් සිදුකළ බව අපි දනිමු.

සමිතියේ අනුශාසක කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධාන ආචාර්ය මාකොල මංගල ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම උපදේශකත්වය යටතේ වර්තමානයේ ලබා ඇති ප්‍රගතිය අගය කළ යුතුය. කැලණි තරුණ බෞද්ධ සමිතිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වෙත සම්මාන සමාජිකත්වය පිරිනැමීමේ කාර්‍යයෙන් ලද ආලෝකය අතිමහත්ය. සමිති පුස්තකාලය නවීකරණය කොට කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් යොදවා ඩිජිටල්කරණයට යොමුකිරීම විශාල දියුණුවක් ලෙස මම දකිමි.

හැටපස් වසරක් තිස්සේ අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කරමින්, දුෂ්කරතා හා සියලු බාධක සාර්ථක ලෙස පසුකරමින් සංගමයෙන් ඉටුකෙරෙන ආගමික සහ සමාජ සේවා කටයුතු නොකඩවා කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය මෙම සමිතියේ සියලුම නිලධාරීන්ට ලැබේවායි මෙත් සිතින් පතමි.

අනුශාසක කැලණි තරුණ බෞද්ධ සංගමය,

අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්ථවිර,

කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති,

විහාරාධිපති, කල්‍යාණි රජ මහා විහාරය.

 

NOTICE BOARD